Follow by Email

Saturday, 18 November 2017

හදවතින්ම ශ්‍රී ලාංකිකයි...





ඔස්ට්‍රේලියාවේදී අහම්බෙන් ශ්‍රී ලාංකිකයෙකු හමු වුණොත් හඳුනා ගන්නේ මෙහෙමයි


1. අප දුටු සැණින් එක්වරම භය බිරාන්ත වූ බවක් මුහුණට ආරූඩ වේ.


2. වහාම අහක බලා ගන්නා ඔහු හෝ ඇය අප නොපෙනෙන තැනකට පිටත් වේ


3.නැවත වරක් ඒ සාප්පු සංකීර්ණයේදීම හමු වුවහොත් වහා අහක බලා ගනී.



......

Thursday, 16 November 2017

මඟුල් පරක්කුව


ඔන්න අපේ එකෙක් හොඳ වැඩක් පටන් ගන්න ඕනේ කියලා හිතුවා.  ගමට රටට ප්‍රයෝජනවත් වෙන දෙයක්....

අහල පහළ ඉන්න හිතවත්ම කිහිප දෙනෙකුටත් කිව්වා තමන්ගේ අදහස ගැන..

ඒක අහපු හිතවතුනුත් ඒ ගැන උනන්දු වෙන්න ගත්තා ටිකෙන් ටික...

මිනිහා තවම කල්පනා කරනවා , සැලසුම් හදනවා වැඩ ගොඩයි..

ඔහොම සතියක් ගතවෙනවා.. අපේ මෑන්ස් තවම සැලසුම් හදනවා වැඩේ තව සතියකට කල් දානවා..

 ඔහොම ටිකෙන් ටික කාලය ගෙවිලා යනවා .

අනික් අය ගේ උනන්දුව දැන් වැඩියි අපේ හාදයාගේ උනන්දුවට වඩා..

අපේ ලොක්කා තවමත් හඳහන් බලනවා..

දැන් වැඩේ මාසයකටත් එහාට ඇදිලා ගිහින් .

යාළුවෝ මෑන්ස්ට "කරදර " කරනවා.

"මචං අර වැඩේ? "

" මල්ලී ඔයා ලෑස්තිද?

ඔන්න අපි නම් රෙඩි..."

 ම්හු.. විෂේශ දියුණුවක් නෑ.

තවමත් මුල් දවසේ කියපු සැලසුම ගැනමයි අපේ ලොක්කා ගේ කතාව.

අනික් උන්ගෙත් උනන්දුව අඩු වෙනවා..

වැඩේ එතනමයි..

"මඟුල්"  පරක්කුව..

Sunday, 12 November 2017

අපේ ගමේ තරුණ තරුණයින්ට දුන් පළමු අවවාදය




ඔය අපේ ගම පැත්තේ ඉන්න තරුණ වයසේ පසුවන දුවලා පුතාලට විශේෂ මතක් කිරීමක්.... 

ඔබ දැනට පාසැල් යනවා නම් පාසැල් වැඩ කටයුතු ඉහළින්ම කරන්නට උත්සාහ කරන්න ..පාසැල් ගොස් අහවර නම් තාක්ෂණික පාඨමාලාවක් , ඉංග්‍රීසි දැනුම දියුණු කර ගැනීම , රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම වැනි ඔබේ අනාගතයට ප්‍රයෝජනවත් දෙයකට යොමු වෙන්න ...

 ඔබේ දෙමව්පියන් මෙතෙක් පත්කරගත් පාලකයන් ඔබේ අනාගතය , රටේ අනාගතය වෙනුවෙන් කිසිවක් සැලසුම් කර නැහැ.

 ගම්වල ඉන්න ඒ පක්ෂ වල ගැත්තන් දෙන රැකියා පොරොන්දු පස්සේ යමින් මුහුණු පොතේ "සැපේ ඉන්නේ... ඉන්නකං නේ බං..., පහර... , පට්ට ,පදිරි , කොර, තද .... කියමින් අනුන් යමක් කරදෙන තෙක් බලා නොසිට තමන්ම "පට්ට වැඩකට" බසිමු.. 

අපට රටට හොඳ අනාගතයක් හදා ගමු.. 

මෙතක් අපේ ගම්වලින් බිහිවූ රට හා ලෝකය දිනු මිනිස්සු එක්කෝ හොඳට ම අධ්‍යාපනය කටයුතු වලින් ඉහලටම ගිය අය නැතිනම් තාක්ෂණික, ස්වයං රැකියා අංශයෙන් ඉහළට ගිය  අය.

 පොරොන්දු දේශපාලනය පස්සේ ගිය අය නැවතුනේ එතැනමයි.. 

එයාල තවමත් ඔබ සහ ඔබේ දෙමව්පියන් රවට්ටමින් තම තමන්ගේ වැඩ කරගන්නවා. 

හැබැයි ගමටවත් රටට වත් කරන සෙතක් නෑ...

(මගේ මුහුණු පොතේ පළ කල කෙටි සටහනක්)........

Saturday, 4 November 2017

බාලගිරි අදත් නොවේ.. හෙටත් නොවේ ..ලබන සතියේ





පසු ගිය කළාපයෙන්



අපේ අක්කාගේ කීම අසා පාරේ වැඩ නවත්වා දැමූ මම ටික කාලයක් වෙන වෙන වැඩ වලට යොමුවුණා.

අපේ ගමේ සහ අවට පවුල් දෙකකට නිවාස හදාගන්න සහයෝගය දෙන්න ගත්තේ මෙන්න මේ දවස් වල .


ඔහොම  ටික කලක් ගත වෙද්දී අපේ තාත්තාත් නිතර නිතර  ප්‍රාදේශීය සභා සභා ලොක්කට කතා කරලාම ඇති වෙලයි හිටියේ.

මේ අතර එතෙක් තුන් පැත්තකට පමනක් බෙදී තිබුණ පාරේ කෙලවරින් තවත් පැත්තකට පාර ගෙනයන්න අපේ ගෙට පහළ පැත්තේ කට්ටිය අලුතින් පාරක් කැපුවා.

ඒ නිසා එකම මගක යන පිරිසට තවත් පවුල් තුනක් එකතු වුණා.

අපේ තාත්තත් අලුතින් පත්වුණ මහඇමති තුමා වෙතටත් පාරේ කතාව අරන් ගියා.


මේ කිසි උත්සාහයකින් ඔහුට   තමන්ට අවශ්‍ය දේ කර ගන්න බැරිවුණා.

දැන්පාරේ ගමන් කරන පවුල් ගණන දහයකටත් වැඩියි.

මම පාරවල් සම්බන්ධ ආයතනයක ඉහළ නිලයකට කතා කලා.

" ඒක නෙවෙයි ඔයා අහවල් ආයතනයේ නේද දැන්ඉන්නේ ?

"ඔව් අය්යා මෙහාට ඇවිල්ලා දැන් අවුරුද්දකට වැඩියි "

 "අපේ ගමේ පාරක් තියෙනවා කවුරුත් බලන්නේ නැති .... ඒක ගැන පොඩ්ඩක් බලන්න බැරිද?"

"පුළුවන් අය්යා මොකක්ද කෙරෙන්න ඕනේ ?"

" මේක මේ අපේ  තාත්තයි අහල පහල ගෙවල් වල අයයි අවුරුදු ගාණක් තිස්සේ කර ගන්න දඟලන එකක්  .

කිසිම දේශපාලකයෙක් ඒ ගැන බලන්නේ නෑ . මේ පාර කරලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් "

"හරි අය්යා පවුල් හත අටකට වඩා යන පාරක් නම්  අපිට කරන්න පුලුවන්  .

ඒ පාරේ යන සියලුම දෙනා අත්සන් කරලා ඉල්ලීමක් කලොත් "

 ඒ අනුව මුලින්ම  අදාළ රාජ්‍ය ආයතනයට ලිපියක්  යොමුකලා  මේ මාර්ගය තම නිවාස වලට ප්‍රවේශ මාර්ගයක් ලෙස පාවිච්චි කරන හැමෝම එකතු කරගෙන.

සියලු දෙනාගේ  අත්සන් සහිත  ඒ ලිපිය අදාල කාර්යාලයට ලැබුණු පසු  එය ඔවුන්ගේ සහය ලැබිය යුතු ව්‍යාපෘතියක් ලෙස අනුමත වුණා.

ප්‍රධාන කාර්යාලයේ  මගේ පුද්ගලික හිතවත් කමක් තිබීම  මෙහිදී සැහෙන්න ප්‍රයෝජනවත් වුණා කීවොත් නිවැරදියි.

අනතුරුව  ඔවුන්ගේ   අනුදැනුම මත අපේ නගරයේ පිහිටි අදාළ රාජ්‍ය ආයතන සමගත්  සබඳතා ගොඩ නගා ගත්තා


ඒ  මමත් තාත්තත් දෙදෙනාම ඒ ඒ ආයතන වල නිලධාරීන් නිලධාරිනින්  හා කෙලින්ම කතා කිරීම මඟින්.

මේ සියලු කටයුතු කෙරුණේ අපේ ප්‍රදේශයේ දේශපාලකයින් හෝ ඔවුන්ගේ අපේ ගමේ සිටින අනුගාමිකයින්ට නොදැනෙන අයුරින්.

ඒ සඳහා ඉමෝ , ව්‍යිබර් , මුහුණු පොත ආදිය හරහා කාර්යාල තුනක සිටි අදාළ නිලධාරින්සමඟ ගනු දෙනු කරන්නට මට සිදුවුණා.

සති දෙකක් වැනි කෙටි කාලයක් තුල ව්‍යාපෘතියට අදාළ ඇස්තමේන්තුව සකස් වී අනුමත වීම අප ලැබූ ලොකු ජයග්‍රහණයක්.

ප්‍රධාන කාර්යාලයේ වගේම බණ්ඩාරවෙල පිහිටි අනෙකුත් කාර්යාල /ආයතන වල නිලධාරි මහත්ම මහත්මීන් බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් සහයෝගය දුන්නා.

කොන්ත්‍රාත් කරුවන් සෙවීම 




ව්‍යාපෘතිය අනුමත වීමෙන් පසු එළැඹියේ එය කිරීමට කැමති කොන්ත්‍රාත් කරුවෙක් සොයාගැනීමයි. බාලගිරි දෙවැනි වතාවට  අප සොයා ආවේ මේ අවධියේදී. 

මා දන්නා මිතුරු මිතුරියන් ගෙන් මෙන්ම තාත්තා දැන සිටි අයගෙන් ලැබුණු අවවාද ඔස්සේ කොන්ත්‍රාත් කරුවන් කිහිප දෙනෙකුටම කතා කලා.

එහෙත් පාර බලන්නට පැමිණි බොහෝ කොන්ත්‍රාත් කරුවන් කියා සිටියේ අදාළ ව්‍යාපෘතිය ප්‍රාදේශීය සභාව හරහා ලැබෙන්නේ නම් තමන් එය කරන්නට කැමති බවයි.

එහෙත් ව්‍යාපෘතිය අනුමත වී තිබුණේ මාර්ග සංවර්ධන අධිකාරය හරහා කෙරෙන ව්‍යාපෘතියක් ලෙස.

එයට හේතුව ලෙස ඔවුන් පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරය සමඟ ගණුදෙනු එතරම පහසු නැති බවත් විශේෂයෙන් මුදල අනුමත වෙන්නට මාස ගණනක් වුව ගතවිය හැකි බවත්ය.

මේ අතර මා හා තාත්තා වරින් වර සෙවූ කොන්ත්‍රාත් කරුවන් හෙමින් හෙමින් මග හැර යද්දී එක් අයෙක් ගැන තාත්තාගේ අවධානය යොමුවුණා. මමත් මෙහි සිටි කිහිප වතාවක්ම ඔහුට දුරකතයෙන් කතා කලා.

"ඩොක්ටර් RDA එකේ ප්‍රොජෙක්ට් කරලා සල්ලි ගන්න අමාරුයි හැබැයි"

ඔහුත් පරණ කතාවම කියන්න ගත්තා.

"හරි හරි මම කොහොම හරි ඉක්මනට සල්ලි අරන් දෙන්නම් .

ඔයා හිරවුනොත් අපි උදව් කරනවා බය වෙන්න එපා .

වැඩේ පටන් ගන්න  "

මම ඔහුව උනන්දු කෙරෙව්වා.

එසේ කීමෙන්  මම අදහස් කලේ වැඩ ඉවර කරලත් ඔහුගේ මුදල් නොලැබුනොත් ඔහු ට ඉදිරියට කර ගන්නට ඇති වැඩ වෙනුවෙන් ණයක් වුනත් දෙන්නට මා සුදානම් බවයි.



දුරකථන ඇමතුම් දහයක් පහළොවක් දුන් පසු සති දෙක තුනක්ම ගතවුණා.

වැඩේ පටන් ගන්න පාටක් නෑ.

මම තාත්තාටත්  කොන්ත්‍රාත් කාරයටත් මාරුවෙන් මාරුවට කරදර කලා .


 අවසානයේ  පාරේ මුලික පස් සකස් කිරිමට පස් කපන යන්ත්‍රයක් එවන්න කොන්ත්‍රාත් කරු තීරණය කලා.




මේ තියෙන්නේ පාරේ වැඩ කෙරෙන මුල් අවස්ථාවේ ගත් චායාරූප ...





















දවස් දෙකක් ඇතුලත පාර මට්ටම් කල කොන්ත්‍රාත් කරු තාත්තට අළුත් යෝජනාවක් කලා.

" මේ දවස් වල මගේ අතේ සල්ලි නෑ. RDA වැඩ කරාම තවත් සල්ලි හිරවෙනවා .


 කියුබ් එකක් අහවල් ගාන ගානේ කොන්ක්‍රීට් ගෙනැත් දෙන කම්පැනියක් තියෙනවා.

 මේ මීටර් ගාන කරන්න ලක්ෂ හයක විතර කොන්ක්‍රීට් ඕනේ .

දොස්තර මහත්තයට කියන්න කොන්ක්‍රීට් වලට යන සල්ලි මට ලෝන් එකක් විදිහට දෙන්න කියලා

එහෙම වුනොත් සතියෙන් දෙකෙන් මේ පාර ඉවර කරලා දෙන්න පුළුවන්"


තාත්තා යෝජනාව මා වෙත ගෙනාවා.

"අපි සල්ලි දානවා නම් අපිටම කොන්ත්‍රාත් එක ගන්න තිබ්බනේ

මට නයට සල්ලි දෙන්න විදිහක් නෑ .

එයා ගේ අනික් වැඩ ඉවර වෙලා කරන්න කියමු "

 ඒ අනුව අපේ වැඩේ නතර කල කොන්ත්‍රාත් කරු තව මාසයක් ඒක හමාරක් යන තෙක්ම වැඩේ කල් දමමින් හිටියා.

"තව පොඩි වැඩ ටිකක් තියෙනවා . ඉවර කරලා එන්නම් "

 හැමදාම තාත්තා කතා කරද්දී යන පිළිතුර ඔහු දෙන්නට පුරුදු වුණා.


මම නිතර නිතර තාත්තාගෙන් අහනවා කවද්ද කොන්ත්‍රාත් කාරය ආපහු එන්නේ කියලා

"එයාට තව පොඩි වැඩ ටිකක් තියෙනවලු . ඉවර කරලා අද හෙටම එයි "

ඔහු බලාපොරොත්තු සහගතව පවසනවා.

මෙහෙම මාසයකට ආසන්න කාලයක් ගෙවී ගියා ..

මගේ පැත්තේ ඉවසීමේ සීමාවත් ඉක්මවා යන්න ලඟයි.

මම තවත් වතාවක් කොන්ත්‍රාත් කාරයට කතා කලා

" ඒක නෙවෙයි . තාත්තා කියනවා ඔයා තව සතියකින් එනවා,  දෙකකින් එනවා කියලා ඇත්තටම කවද්ද එන්නේ ?

මට කෙලින්ම ඇත්ත කියන්න ඔයා මේ වැඩේ කරන්න අකමැතියි නේද ?"

"නෑ ඩොක්ටර් මට පොඩි වැඩ වගයක් තිබුණා. "

ඔහු තව තවත් වැඩේ කල් දාන අරමුණෙන් වගේ කතා කරනවා.

"හරි ඒකට කමක් නෑ .

මම ළඟ මිනිහෙක් ඉන්නවා .

ඔයා භාගෙට කරපු ටිකට පස්සේ සල්ලි දෙන්නම් අපි ඒ මනුස්සයා දාල වැඩේ කරන්නද ?"

"හරි ඩොක්ටර් කමක් නෑ . එයා දාලා කරවන්න . මට ඩෝසර් කරපු සල්ලි පස්සේ ගන්න බැරියැ"

ඔහු ඒක පයින්ම මගේ යෝජනාවට කැමති වුණා.

මේ වෙනකොට අපේ අම්මලා ගෙදර තාප්පයක් බඳින්න මේසන් බාස් කෙනෙකුට දීලා තිබුනා

ඔහු අසල ලැයිමක ජිවත් වූ රාමන් නමැති  තරුණ මේසන් කෙනෙක් .


මම මේ මේසන් බාස් එක්ක කතා කරලා ඔහු වැඩේට කැමතිද ඇසුවා.


"රාමන් ඔයා මේ කොන්ත්‍රාත් එක බාර ගන්න හදිස්සියක් වුනොත් මම උදව් කරනවා "

ඒ අනුව රාමන් වැඩේ පටන් ගත්තා .

මමත් , අපේ අය්යා , අක්කා ඇතුළු හැමෝමත් එකතු කරගත් තාත්තා  රාමන් ට සිමෙන්ති, වැලි සහ කළුගල් වලට ගිය මුලික වියදම ණයක් ලෙස ලබා දුන්නා.

ඒ මුදල  රුපියල් ලක්ෂ හය හමාරක් හතක් විතර වුණා.


අවසානයේ  දවස් දහයක් වැනි කාලයකින් පාරේ වැඩ ඉවර කරන්නට මේ තරුණ මේසන් වරයා සහ ඔහුගේ සගයින් සමත් වුණා.


RDA එකේ තාක්ෂණික නිලධාරීන් , ඉංජිනේරුවන් ඇතුළු සියලු දෙනා ඔහු ඉතාම ඉහල ප්‍රමිතියකින් යුතුව පාර නිමකර ඇති බව සනාථ කලා.



මේ තියෙන්නේ ඒ දෙවන පියවරේදී ගත්  චායාරූප

















රාමන් ඇතුළු පිරිස පාරේ වැඩ කරමින්















Sunday, 29 October 2017

බාල ගිරි ..... අද නොවේ... හෙට.......



අද කියන්නට යන්නේ අපේ ගෙවල් පැත්තට යන පාර ගැන කතාවක්   අපේ මහ ගෙදරට යන පාර.

මේ කියන පාර  අපේ අම්මලා ඉන්න ගෙදර සහ අසල්වැසි පවුල් අටකට වාහනයකින් ලඟා වන්නට තිබෙන එකම ප්‍රවේශ මාර්ගයයි.

අපි ඉස්කෝලේ යන කාලේ අපේ නිවස තිබූ කඳු මුදුනේ සිට මල්වත්ත දක්වා වූ කිලෝ මිටර් එක හමාරක පමණ වූ දුර ගමන් කලේ පයින්මයි.

ඒත් අපේ අසල්වැසි නිවාස වල සිට පාසැල් යන ළමුන් දැන් ගමන් කරන්නේ මේ කියන පාරේ ත්‍රී විලර් එකකින් හෝ යතුරු පැදියකින් ( ඔවුන්ගේ දෙමව්පියන්ට අයත් වාහන)

වර්තමානයේ මේ පාර ප්‍රයෝජනයට ගන්නා පිරිස අතර සුසුකි ඇල්ටෝ වර්ගයේ වාහන හිමියන් තිදෙනෙක්, ත්‍රී විලර් හිමියන් දෙදෙනෙක් , යතුරු පැදි හිමියන් හතර පස් දෙනෙක් ඉන්නවා.

ඒ වගේම උමා ඔය ව්‍යාපෘතිය නිසා බීමට වතුර නැති වී ඇති අපේ ගම පුරා බෙදා හරින්නට වතුර රැගෙන එන බවුසරයත් මේ පාරේ ගමන් කරනවා ( ගම පුරා වතුර බෙදන ටැංකිය තිබෙන්නේ අපේ අසල්වැසියෙකුගේ ඉඩමේ)

මේ අය බොහෝදෙනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ අනුගාමිකයෝ ( අපේ දෙමව්පියන් සහ සොහොයුරියන්ගේ පවුල් ප්‍රභල ශ්‍රී ලංකා පාක්ශිකයින් වන අතරේ අසල්වැසි පවුල් දෙකක් තුනක්ම ප්‍රභල එක්සත් ජාතික පක්ශ ආධාර කරුවන් ලෙස පෙනී  සිටිනවා).

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක බංගලාවක් වූ කේෂන් බංගලාවට  සහ අසලඇති ගල උඩ පුටුව නම් මනරම් ස්ථානයටත් මේ පාරෙන් ලඟා වෙන්න පුලුවන්.



"සෙනොක් එස්ටේට්" නම් අලුත් නමකින් හැඳින්වෙන මේ අක්කර පණහ වත්ත නම් තේ වත්ත සහ කේෂන් බංගලාව හිටපු පාලකයෙකුගේ පුතෙක් මිලදී ගෙන ඇති බවත් ඔහු විසින් ඉහතින් කියූ බංගලාවට ලලනාවන් රැගෙන හෙලිකොප්ටර් වලින් ආ ගිය කතාවත් අපේ පැත්තේ ප්‍රසිද්ධ රහසක්.



මේ කතා සියල්ල එසේ වුවත් මා මේ කියන ගුරු පාර වැඩි දියුණු කරන්නට කිසිම රජයක් හෝ තේ වතු හිමියෙක් උනන්දු වුණේ නෑ.

පසුගිය රජය සමයේ බණ්ඩාරවෙල ප්‍රදේශය නියෝජනය කල නිදහස් පක්ෂ මන්ත්‍රී තුමා වෙත ගිය මොහොතක එතුමා අපේ තාත්තාට කියා තිබුණේ

"අන්කල් ආයිත් පාරක් හිඟා කන්න ආවද?

 ඔය පාර හදන්න දෙන්න ප්‍රතිපාදන මා ලඟ නෑ.."

 යනුවෙනි.

පාර අවසානයේ තුන් පැත්තකට බෙදී යන ස්ථානය දක්වා ප්‍රධාන පාරේ සිට  ඇති දුර අඩි අටසියයක්.

 කිසිදු දේශපාලකයෙක් අත නොතැබූ මේ මාවත වැඩි දියුණු කරන්නට මම අත ගැහුවේ 2011 වගේ කාලෙක.

ඒ වරෙකට රුපියල් ලක්ෂය බැගින් හතර වතාවක් අපේ තාත්තට මුදල් දී  අඩි 300 ක පමණ මුල් කොටස මගේ පුද්ගලික මුදල් යොදවා කොන්ක්‍රිට් කිරීම මගින්.

 මගේ මුදල් , තාත්තගේ සහ අපේ මස්සිනාලගේ ශ්‍රමය මැද පාර අඩි සියයෙන් සියය කොන්ක්‍රීට් වෙද්දී අසල්වැසි පවුල් නිහඬව ඔහේ තම තම වාහන වල ගමන් කලත් අපේ අයට උදව්වට ආවේ නෑ.

ඒ නිසාමදෝ කොහෙද මගේ උනන්දුව තිබුණත් පාර දිගින් දිගටම කොන්ක්‍රිට් කිරීමට අපේ පවුලේ අයටෙ උනන්දු වුණේ නෑ .

ඒ වෙනුවට අපේ අක්කා සහ ඇයගේ සැමියා නැවතත් ඔවුන්ගේ හිත මිතුරෙක් සහ මගේ උසස් පෙළ පංති සගයෙකු වූ දේශපාලකයෙකු වෙත යොමුවුණා.

ඒ එවකට සිටි බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙත.

"අක්කා උඹලා මල්ලිට පිස්සු . ඌට නිකං ඉන්න කියපන්.

 මම ඕකට සල්ලි පාස් කරලා දෙන්නම් "අපේ ඩොක්ටර්"  ට ( පලාතේ මන්ත්‍රී) කියලා. "

ඒ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ගේ වචන.

ඒ අනුව මා තනියෙන් ගොඩනඟමින් තිබු අපේ පාරට පළමු වතාවට බාලගිරි ලඟා වුණා.

ඒ මගේම පාසැල් මිතුරෙකු හරහා.

සමන්සිරි කියනවා මල්ලිට පාර කරන්න එපාලු . එයා ඊලඟ අය වැයෙන් සල්ලි අරන් දෙනවලු . මල්ලි අපි ටික කාලෙකට වැඩ නවත්තමු නේද?


අක්කා පළමු බාලගිරි දෝෂයට අහුවුණේ එහෙමයි.

(මේ "ඩොක්ටර්"  තමයි අපේ තාත්තාට කලින් පාරට මුදල් අනුමත කල නොහැකි බව කියලා තිබුණේ.

වර්තමානයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ශ්‍රී. ල.නි. ප. යට අත්වී ඇති අභාග්‍ය සම්පන්න ඉරණමට මේ දෙන්නාත් අපේ ඉස්කොලේ ගිහින් හමුදාවට සම්බන්ධ නිසා පළාතේ නියොජනයට ආ තුන්වෙනි "අහසින් පහත්වූ" ශ්‍රී ලංකා නියෝජිතයාත් හවුල්.

මේ අය තමන්ගේ පළාතේ ජනයා පෙළන උමා ඔය ව්‍යාපෘතිය වගේ දේවල් ගැන තම හඬ අවදි කලේම නැහැ.


තුන්වෙනියට කිව් පළාත් සභා මන්ත්‍රී කොහොමද දන්නේ නැහැ හැබැයි අනිත් දෙන්නා දේශපාලනය කරනවා කියලා කරේ මළ ගෙවල් වල ගිහින් අරක්කු බී බී ජනතාව එක්ක සමීප වුණ එක කියලයි මම අහලා තියෙන්නේ. )

කරුණු එසේ වුවත් මේ තුන් දෙනාම තමන්ට බලය තිබුණු කාලයේ අපේ ගම්වල ඔවුන්ගේ හෙන්චයියලා කියන කේලාම් අසා එක්දහස් නවසිය පනස් ගණන් වල සිට ශ්‍රී ලංකා එකේ ප්‍රමුඛයන් වූ අපේ තාත්තලාට කෙනහිලි කම් කලා.

ඒත් අදටත් අපේ දෙමව්පියෝ සහ නෑදෑයෝ තම "උපන් පාක්ෂික කම "  නිසා මේ "අහසින් පහත් වූ"  පිරිසට සාම්ප්‍රදායිකව චන්දය දෙනවා, ඊට පස්සෙ ඔවුන්ගේ පස්සෙන් යනවා පාරවල්, ජල ව්‍යාපෘති ‍ය  රැකියා ස්තාන මාරු වගේ දේවල් ඉල්ලාගෙන.

මේ බව සනාථ කෙරෙන කියමනක් කියවුණේ ඔය කියන සමන්සිරි ගෙන් මම පසුගිය වතාවක බණ්ඩාරවෙල  ආ වෙලාවේ.
මට අපේ ආදී ශිෂ්‍ය හමුවකදී සමන්සිරි හම්බවෙනවා.

" හා මචං කවිඳු.. කවද්ද ලංකාවට ආවේ?

"ටික දවසක් වෙනවා. ඒක නෙවෙයි උඹ අපේ පාරට මොකද කරන්නේ? මම කරන එකත් නවත්තවව්වා අපේ අක්කලා රවට්ටලා දැන් උඹට ඕක කරන්න වෙයි"

" මචං අක්කයි , අය්යයි මාර සපොර්ට්  එකක් දුන්නාට මට සභාපති වෙන්න.. ඒකයි මම අක්කට කිව්වේ උඹේ පුද්ගලික සල්ලි ඕකට දාන්න ඕනේ නෑ අපි ප්‍රාදේශීය සභාවෙන්  ඒක කරන්නම් කියලා"

" හරි පුතා උඹට පුලුවන් නම් පාර කරපන් . 

හැබැයි බොරු පොරොන්දු දෙන්න එපා.. 

උඹ එහෙම පොල්ල තිබ්බොත් අපේ ගමේ උඹට තියෙන චන්ද ටික නැතිවෙයි"

"මොන පිස්සුද මචං ඔය උඹලා පවුලේ ජයසිංහලාගේ චන්ද ටික අපිට කවදත් ලැබෙනවා"

"හරි  අපි බලමුකෝ මේ සැරේ. 

උඹ මම කර කර හිටපු වැඩෙත් නතර කරවලා දැන් අනිවාර්යයෙන් මේ වැඩේ කරන්න වෙයි.
නොකරොත් මම ආපහු පාර පටන් ගන්නවා . 

හැබැයි ඔක්කොම ජයසිංහලා නැතත් අපේ ගෙදර ටික හරි උඹලාගෙන් අයින් කරනවා."

මම සමන්සිරිලාගේ දේශපාලන අනාගතය 2014දී දැක්කේ එහෙමයි.

2018 දිත් සමන්සිරිලා පොහොට්ටුවෙන් හරි බුලත් කොලෙන් හරි මතුවෙයි .
අපේ ගම්වල මිනිස්සුන්ට මේ අයට පාඩමක් උගන්වන්න තරම් මොළයක් පෑදුනොත් හරි.









මේ පාරේ ඉදිරි වැඩ .. කියවමු මෙතනින්...

Friday, 27 October 2017

එහෙමද ආසා?



අපි පොඩි කාලේ හැදී වැඩුනු ගම සකල සිරින් පිරි එකකි.

එහි සිටි  අපි වගේම ගමේ සියලුම දෙනා ඉතා වත් පොහොසත් කම් වලින් අනූන, අටු කොටු පිරී ගිය බත බුලතින් පිරුණු ගෙවල් වල ජීවත් වූ අය වෙති.

අප දන්නා අහල පහලක දුප්පත් කියා කිවහැකි කිසිවෙක් සිටියේ හෝ අදටත් ඇත්තේ හෝ නැත.

සියල්ලෝම පහසුකම් වලින් අනූන පාසල් වල ඉගෙන ගත්තෝ වෙති.

අපේ ගම්වල අරක්කු සිගරට් බොන , කසිප්පු බොන තාත්තලා වත්, බීගෙන විත් ගෙදර අඬදබර කරන  පිරිමින් වත් සිටියේ නැත.

අප දන්නා කිසිවෙක් අමාරුවෙන් ඉගෙනගත්තේ වත්, තවත් සමහරුන්ට දෙමව්පිය වැඩිහිටි වැරදි නිසා ඉගෙන ගන්න බැරි වුණේවත් නැත.

අපට ආශ්‍රය කරන්නට ලැබුණු කිසිවෙක් අනුන්ගේ දියුණුවට අකුල් හෙලන, බෙලිකපන වර්ගයේ අය හෝ කිසිම හොඳ වැඩකට බාධා කරන වර්ගයේ අය නොවූහ.

අපේ ගම්වල මිනිසුන් මිය යන්නේ උපරිම ආයුෂත් වලඳා ඊටත් ටිකක් වැඩිකාලයක් ජීවත් වී කිසි ලෙඩ දුකක් , හදිසි අනතුරක් ආදිය නිසා නොව ඔවුන්ගේ පරමායුෂත් ගෙවා දෙව්ලොවට යන්නට කාලය ලඟ නිසාය.

2003 රටින් පිටවූ අප අද වෙනතෙක් නෑදැයින්ට, හිතවතුන්ට , ගමේ අයට , කිසිම අයුරකින්  දැනහැඳුනුම් කමක් නැති අයට වුවද  කල දෙයක් නොමැත.

මෑතකදී  තම රාජකාරිය අකුරට ඉටුකර මිය ගිය රියදුරු මහතෙක් ගැන බ්ලොග් පොස්ට් එකක් ලිව්වේ ඔහු "අපේ නම නොදන්නා දැන හැඳුනුම් කමක් නැති බාප්පාගේ  පුතා"  නිසා සහ මට ලොකුකමක් ආරෝපණය කරගනු පිණිස යන කාරණා දෙක නිසාය.

මෙතෙක් කල් බ්ලොග් ලිව්වේ "මම පොර වී"  අනික් සියල්ලෝ පහත් කිරිමට මිසක් ඇත්තටම නම් ඒ අය දුප්පත් නිසා හෝ  යමක් කමක් කර ගන්නට ශක්තියක් නැති අය නිසා හෝ නොවේ.

මේකරුනු කාරනා නිසා මට බ්ලොග් කියා ලියන්නට දෙයක් නැත.

ලියනවානම් බොරු ගොතා ලිවිය යුතුය.



අද හෙටම මේ බ්ලොග් ලිවිල්ලෙන් සමුගන්නටත් . මුහුණු පොතෙන් ඉවත්වන්නටත් සිතුවේ එබැවිණි.